Daily News
Trending

සම්පූර්ණයෙන්ම නතරවුනෙමි. හැමෝටම ස්තූතියි! – ශනුද්‍රි ප්‍රියසාද්




මෑත කාලයේ අතිශය ජනප්‍රිය වූ මෙගා ටෙලි නාට්‍යය ලෙස දෙවැනි ඉනිම හඳුන්වා දෙන්න පුළුවන්. ප්‍රධාන චරිත හතරක් ද තවත් අනු ප්‍රධාන චරිත කිහිපයක්ද වටා ගලා ගිය මේ කතාව ආදරය, සෙනෙහස, දුක, සතුට දැනවූ සුන්දර කතාවක් බව කිවයුතුයි. සාරංග මෙන්ඩිස්ගේ අධ්‍යක්ෂණයෙන් සහ සමන් එදිරිමුණිගේ පිටපත් රචනයෙන් නිර්මාණය වුණ දෙවෙනි ඉනිම බලාපොරොත්තු වුණාටත් වඩා දුරක් ගමන් කරන්න පටන් ගත්තා. එහි ප්‍රතිඵලයක් විදියට මේ නාට්‍යයෙන් ඉස්සර වෙලාම රවී නොහොත් බිමල් ඉවත් වෙන්න තීරණය කළා.

කවුරු ඉවත් වුණත් නාට්‍යය පවතිනවා. ඒක තමයි මෙගා නාට්‍ය කලාවේ ස්වරූපය. ඉතින් මේ නාට්‍යයේ ප්‍රධාන චරිතයක් නිරූපණය කළ ශනුද්‍රි ප්‍රියසාද් නොහොත් සමල්කා දෙවෙනි ඉනිම නාට්‍යයෙන් ඉවත් වීම සිදුවන්නේ ඊළඟට. ඒ ඉවත් වීම කාගේ වුවමනාවට සිදුවුණාද කියන්න අපි නොදන්නවා වුණත් ඊයේ රාත්‍රියේ ශනූ සිය පෞද්ගලික ෆේස්බුක් ගිණුමට එක් කළ සටහනක් මඟින් තමන් සම්පූර්ණයෙන්ම දෙවෙනි ඉනිම නාට්‍යයෙන් ඉවත් වූ බව දන්වා තිබුණා.

ඇය දීර්ඝ වශයෙන් සටහන් තබා තිබුණ මේ පෝස්ට් එකට ඉතා ඉහළ ප්‍රතිචාර ලැබී තිබුණා. ඒ අතර දෙවෙනි ඉනිමෙහි සහෝදර ශිල්පීන් සහ ශිල්පිනියන් ද සිටියා.

ශනූ තම ෆේස්බුක් සටහන මඟින් පවසා තිබුණේ මෙසේ අවසානය දුටුවේ සුන්දර පරිච්ඡේදයක් බවයි. ගෙවුණ වසර දෙක තුළ ඇයට නොයෙක් අයුරින් උපකාර කළ දෙවෙනි ඉනිම සමූහයට ඇය අප්‍රමාණ ස්තූතිය පළකොට තිබුණා. ඒ අතර සාරංග මෙන්ඩිස් මහත්මයා මෙන්ම සමන් එදිරිමුණි මහත්මයා ද ඇතුළුව තේ පිළියෙල කළ සහෝදර සේවක මහතා ද සිටියා. සමල්කා කියන චරිතයට සහය පළකළ ප්‍රධාන නළු චරිත දෙක වූ කේශාන් සහ රවීන් ට ද ඇයගේ විශේෂ ස්තූතිය හිමිවී තිබුණා. ඇය පවසා තිබුණේ කේශාන්ට සහ රවීන්ට තව ලොකු ගමනක් යාමට ඇති බවත් ඇය ඒ ගමනට සුබපතන බවත් ය. සමල්කා නිසා ඇයට ජනතා සම්මානය පවා දිනා ගන්නට හැකිවූ බව සිහිපත් කරන ශනූ අවසාන වශයෙන් කියන්නේ එක් දෙයක අවසානය තව බොහෝ දේ හි ආරම්භය බවයි.

දෙවෙනි ඉනිම පිටපත් රචකයා සමල්කාව නාට්‍යයෙන් ඉවත් කිරීම සඳහා සූක්ෂම වී තිබුණේ ඇයව මෙහෙණියක බවට පත්කරවමින් ය. සමල්කා නමැති චරිතයේ එකී අවසානය සම්බන්ධයෙන් දෙවෙනි ඉනිම රසිකයින්ගේ දැඩි විරෝධය එල්ලවී තිබුණා.

ශනුද්‍රි තවම ලාබාල තරුණියක්. ඇය මේ වන විටත් ඇගේ රංඟන දිවියේ බොහෝ දුර ගිහින් අවසානයි. ඇයට තව යා හැකි දුරත් ඉතා ඈතයි. ඉතාම ලෙන්ගතු මිත්‍රශීලී කෙනෙකු ලෙස කවුරුත් හඳුනන ශනූගේ අනාගතය වෙනුවෙන් අපි උණුසුම් සුබපැතුම් එක් කරනවා.

Tags
Show More
Close