Daily News
Trending

තුමිඳුට සහ ලක්ෂ්මන්ට ජයසිරිගෙන් අභියෝගයක්.




නිදහසේ පියා සිනමා පටය තිරගත වීමට තව ඇත්තේ දින දෙකක් පමණි. 12 වැනිදා සිට දිවයින පුරා සිනමාහල් රැසක නිදහසේ පියා තිරගත කිරීමට සියල්ල සූදානම්ව ඇත.

සුනෙත් මාලිංග ලොකුහේවා අධ්‍යක්ෂණය කරන නිදහසේ පියා සිනමාපටයට ගීත රචනා කර ඇත්තේ මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ය. ගායනය අමරසිරි පීරිස් හා සමන්ත පෙරේරාගෙනි. මෙම දැවැන්ත දේශපාලන චරිතාපදානය සිනමාවට නැඟුවේ සංස්කෘතික අමාත්‍ය විජයදාස රාජපක්ෂ ප්‍රමුඛ පිරිසකි.

මේ මොහොතේ ලංකාවේ සිනමා කර්මාන්තය තුළ දැකිය හැකි අනිවාර්ය අර්බුදය වන්නේ චිත්‍රපට පෝලිමක් තිබීමයි. මේ නිසා නවක නිර්මාණකරුවන් රැසකගේ නිර්මාණ පෙන්වා ගත නොහැකිව කාලයක් තිස්සේ පෝලිමේ සිරවී ඇත. නමුත් මෙම පෝලිම, නිදහසේ පියාට බලපෑවේ නැද්ද? පෝලිමෙන් පැන නිදහසේ පියා තිරගත කිරීමට අවශ්‍ය සියලු කටයුතු සම්පූර්ණ වන්නේ කෙසේ ද? මේකට හේතුව බලගතු ඇමැතිවරයෙක් මේ නිර්මාණය පිටිපස්සේ සිටීමද?

මේ ප්‍රශ්න පසෙකින් එල්ල වෙද්දී නිදහසේ පියා තව දින දෙකකින් ජනතාවට ප්‍රදර්ශනය කෙරෙනු ඇත. මෙහි නිදහසේ පියා නොහොත් අභීත සෙන්පති මහා මාන්‍ය ඩී.එස් සේනානායක චරිතයට පණ දෙන්නේ ප්‍රවීණ රංඟන ශිල්පීන් වන ලක්ෂ්මන් මෙන්ඩිස් හා තුමිඳු දොඩන්තැන්නය. මේ දෙදෙනාම සමාජ අසාධාරණය ඉදිරියේ නොබියව පෙනී සිටින ශිල්පීන්ය. විශේෂයෙන්ම කලාව සම්බන්ධයෙන් වන අකටයුතුකම් හමුවේ මෑතකදී ද සෘජුව පෙනී සිටි කලාකරුවන්ය.

එසේ තිබියදී ඩී.එස් සිනමාපටය චිත්‍රපට පෝලිමෙන් පැන පෙන්වීම සම්බන්ධයෙන් දෙදෙනාම මුණිවත රකින්නේ ඇයි ද යන්න ප්‍රවීණ නළු ඩබ්ලිව් ජයසිරි ප්‍රශ්න කරයි.

තම ෆේස් බුක් පිටුවේ අදහසක් පළ කරමින් ඩබ්ලිව් ජයසිරි මෙම නිහඬතාව ප්‍රශ්න කරන්නේ මෙලෙසය.

” මගේ කළ්‍යාණ මිත්‍ර ලක්ෂමන් මෙන්ඩිස්ට ආරාධනාවක්! හැම අසාධාරණයකටම එඩිතරව අදහස් ප්‍රකාශ කරන ඔබ පෝලිමෙන් පැන DS පෙන්වන එකට විරෝධය නොපෙන්වන්නේ ඔබ එහි ප්‍රධාන චරිතය රඟපාන නිසාද?තුමිඳු දොඩන්තැන්න ඔබත් ඒ ගැන ගොලුවත රකී. ඔබ දෙදෙනාම ඒ ගැන අදහස ප්‍රකාශ කරනවා නම් කොයිතරම් හොඳද? අපහසුතා ඇත්නම් නිහඬව ඉන්න ”

අභියෝගාත්මක ස්වරූපයෙන් ඩබ්ලිව් ජයසිරි මෙලෙස තම මතය පළ කළත් තවමත් තුමිඳු සහ ලක්ෂ්මන් නිහඬය. ඒ ඔවුන්ට නිර්මාණය සමඟ ඇති සදාචාරාත්මක බැඳීම නිසා විය යුතුය. කෙසේ වුවත් ඉතාම කළුපග මිතුරන් වූ ජයසිරි සහ ලක්ෂ්මන් මෙම ප්‍රශ්නය නිසා සිත් රිදවාගත යුතු නැත. මේ සිස්ටම් එකේ හැටි මෙහෙමය.

සියලු කොන්තර පසෙකින් තබා අපි නිදහසේ පියා රසවිඳිය යුතුය. ඒ වෙන කිසිවක් නිසා නොව එය නිර්මාණයක් නිසාය. එහි නිරූපණය කරන්නේ අපේ සහොදර කලා ශිල්පීන් නිසාය.

නිදහසේ පියා සිනමාපටයට අති දක්ෂ රංඟන ශිල්පීන් සහ ශිල්පිනියන් රැසක් එක්ව සිටිති. මේ පෙළහර බලන්නට ඒ නිසා අප යා යුතුමය. චිත්‍රපට පෝලිම් ප්‍රශ්නයත් සැබෑම ප්‍රශන්යකි. එය වෙනම විසඳාගත යුතුය

Tags
Show More

Related Articles

Close