Tuesday, 07 July 2015 15:05

ජනප්‍රියත්වය රැකගන්න කියලා අමුතු දෙයක් මං කරන්නේ නැහැ

මෙවර රයිගම් ටෙලි සම්මාන උලෙළේ ජනප්‍රියම නළුවාට හිමි කිරුළ ලැබුණේ සාරංග දිසාසේකරට. 2011 හා 2012 වසරේදිත් එම කිරුළ ඔහුට හිමිවුණා. මෙවර රයිගම් ටෙලි සම්මාන උලෙළ වෙනදාට වඩා සාරංගට විශේෂත්වයක් වුණා. ඒ හොඳම නළුවාට නිර්දේශිත නම් ‍ගොන්නේ ද ඔහුගේ නම සටහන්ව තිබුණු නිසා. එය රංගන ශිල්පියකුට හෝ ශිල්පිනියකට ලැබෙන විරල අවස්ථාවක්. සාරංග ඒ විරල මොහොතට මුහුණ දෙන්නෙ ඒ සම්මාන ලබාදීමේ මොහොත ඉදිරිපත් කරන පූරකයා බවටත් පත්වෙලා.රයිගම් ටෙලි සම්මාන උලෙළෙදි ඒ අපූරු අත්දැකීම් වලට මුහුණ දීපු සාරංග දිස‍ාසේකර ‘රසඳුනේ’ අපට ඒ අත්දැකීම් කීවේ මේ විදිහට.

 

රයිගම් ටෙලි සම්මාන උලෙළට ගියේ හොඳම නළුවාට හිමි සම්මානය ගන්නද? ජනප්‍රිය නළුවාට හිමි සම්මානය ගන්නද...? මේ සම්මාන දෙකම ගන්නද?

එහෙම එකම සම්මානයක්වත් ගන්නව කියල බලාපොරොත්තුවකින් නෙවෙයි ඇත්තටම ගියේ... ජනප්‍රිය නළුවාට මම වසර ගණනක් තිස්සේ නිර්දේශ වෙනවා. දැන් වසර කීපයක් තිස්සෙම ජනප්‍රියම පස්දෙනා අතරට තේරෙනවා. ඒ නිසා ඒ සම්මානය ලැබෙයි කියල හිතුණා.හැබැයි හොඳම නළුවාට නිර්දේශවීම මට අලුත් දෙයක්. හිතේ කොනේ පොඩි ආශාවක් තිබුණෙ නැත්තෙම නැහැ සම්මාන දෙකම ලැබුණ නම් කියල. මොකද ඒක ඉතිහාසයෙ වෙලා තියෙනවා බොහොම අඩුයි. ටෙලි නාට්‍ය කලාවේ වෙලා නැතිම දෙයක්.මම හිතන්නෙ පෘතග්ජන මිනිස්සු විදිහට ඉතින් ඒ වගේ ආශාවක් ඕන කෙනෙකුට තියෙන්න පුළුවන්. මටත් ඉතින් ඒ දේ තිබුණා.

 

සම්මාන උලෙළක හොඳම නළුවාට සහ ජනප්‍රිය නළුවාට හිමි සම්මාන දෙකටම නිර්දේශවීම ඉතා විරල දෙයක් නේද?

ඔව්! මම තාම සලකන්නෙ මම නවක කෙනෙකු විදිහට. ලොකු කාලයක් ක්ෂේත්‍රයෙ රැඳුණු කෙනෙක් නෙවෙයි මම. ඒ නිසා මේ දෙකමට නිර්දේශ වීම මට ඉතා වැදගත්. අනිත් කාරණය තමයි ජනප්‍රිය ක්ෂේත්‍රයේ ඉන්න නළු නිළියන් හොඳ නිර්මාණ සඳහා දායක වෙන්නෙ නැහැ, ඔවුන්ට හොඳ චරිත කරන්න අවස්ථාවක් ලැබෙන්නෙ නැහැ කියලා මතයකුත් තියෙනවා. ඒ නිසා හොඳම හා ජනප්‍රිය කියන දෙකටම නිර්දේශ වීමෙන් අධ්‍යක්ෂවරුන් ජනප්‍රිය නළු නිළියන් දිහා වෙනස් විදිහකින් බලන්න පෙලඹෙයි කියල මම හිතනවා.

 

ඇත්තටම සාරංග ඔබ වැඩිය කැමැති හොඳම නළුවාට හිමි සම්මානයටද? ජනප්‍රිය නළුවාට හිමි සම්මානයට ද?

ම්.. ම්.. ම්.. මම ජනප්‍රිය නළුවා සම්මානය අවතක්සේරු කරන්නේ නැහැ. මොකද ප්‍රේක්ෂක ආදරය නිසා ලැබෙන සම්මානයක්නෙ ඒක. හැබැයි හොඳම නළුවා කියන සම්මානය විශිෂ්ටත්වයට ලැබෙන සම්මානයක්. ඉතින් මට ඒ සම්මාන දෙකෙන් කෝකද හොඳ කියල හෝ කෝකද වඩා වටින්නෙ කියල කියන්න අමාරුයි.

 

ඒ වුණාට ඔබ දැන් වැඩිය කැමැති ඔය දෙකෙන් මොකක් ගන්නද?

මම දැන් ජනප්‍රිය නළුවා සම්මානය කීප විටක්ම අරගෙනතියෙනවා. ඒ නිසා දැනට මගේ ආශාවක්, කැමැත්තක් තියෙනවා හොඳම නළුවාට හිමි සම්මානයක් දිනා ගන්න.

 

ජනප්‍රියම නළුව වෙන්න SMS වලට ලොකු වියදමක් කරනව කියන්නෙ ඇත්තද?

ඕක ඔය ජනප්‍රිය ලේබලය තියෙන හැමෝටම කරන ඇඟිල්ල දිග්කිරීමක්නෙ. මම නම් එහෙම කරන්නෙත් නෑ, මට අවශ්‍යතාවයකුත් නෑ.

 

අපි කොහොමද ඕක පිළිගන්නෙ? 

මෙහෙමයි... S.M.S. වලින් හා කූපන්වලින් තෝරන සම්මාන උලෙළ වලින් වගේ ම එහෙම නොතෝරා සංගණනවලින් තෝරන පීපල්ස් අවර්ඩ්ස් සම්මානයක් මට ලැබිල තියෙනවා ජනප්‍රිය නළුවා කියලා.අනිත් එක තමයි කාලෙන් කාලෙට අපි කරන නිර්මාණවල ජනප්‍රියත්වයත් බලපානවා අපිට ජනප්‍රියත්වය ලැබෙන්නත් නැතිවෙන්නත්. ඒ නැතත් මට මඟ තොටේදි මුණගැහෙන, මට කතාකරන, ලියන රසිකයන් රාශියක් ඉන්නවා. ඉතිං එයින් මට දැනෙනවා මම ජනප්‍රියයි කියලා. එහෙම ජනප්‍රියතාවයක් තියෙද්දි මොකටද වියදම් කරන්නෙ.

 

ඔබට හොඳම නළුවාට හිමි සම්මානය නොලැබුණට උමාලි නම් හොඳටම සංවේදී වුණා නේද?

මෙහෙමයි.. සම්මානය නොලැබුණාට නෙමෙයි. නිර්දේශිත නාම ඉදිරිපත් කරන කොටම උමාලිට හිතුනලු මට ඒ සම්මානය නොලැබෙයි කියල. ඉතිං ඒ වෙලාවෙම තමයි ඇය සංවේදි වුණේ.

 

ඇත්තටම ඒ වෙලාවෙ උමාලි ගැන ඔයාට මොකක්ද හිතුණෙ?

මට සන්තෝසයි. ඒ වගේ බිරිඳක් මට ලැබුණු එක ගැන. මගේ ජයග්‍රහණවලදි වගේ ම පසුබැසීම්වලදි ඒ විදිහට විඳ දරාගන්න මාත් එක්ක කෙනෙක් ඉන්නව කියන එක මට ශක්තියක්. එයත් ඉතින් සාමාන්‍ය කෙනෙක් විදිහට ආදරණීය බිරිඳක් විදිහට තමන්ගෙ සැමියගෙ දියුණුව, ජයග්‍රහණය ප්‍රාර්ථනා කරන කෙනෙක්නෙ.

 

ඉදිරියටත් ජනප්‍රිය නළුවා කියන කිරුළ රැකගන්න සාරංග මොනවද කරන්නෙ?

මෙතෙක් කාලයක් ජනප්‍රියත්වය රැකගන්න කියල මම අමුතුවෙන් දෙයක් කරල නෑ, මට ලැබෙන නිර්මාණවලට ම‍ගේ උපරිම දායකත්වය හා ශක්තිය ලබා දෙන එක තමයි මම කළේ. මට හැකි විදිහට මම මගේ රසිකයන් සමඟ සුහදව කටයුතු කරනවා. අපි හැම තිස්සෙම හිතන්න ඕන දේ තමයි ජනප්‍රිය හා ප්‍රසිද්ධ කියන්නෙ දෙකක් කියල කියන එක. වැරදි වැඩක් කරලත් ඉක්මනට ප්‍රසිද්ධ වෙන්න පුළුවන්. ජනප්‍රිය කියන එක බලෙන් ගන්න පුළුවන් විදිහක් නෑ. තමන්ගෙ නිර්මාණ සඳහා උපරිමව සාධාරණත්වය ඉස්ට කරනව නම් තමන් ක්ෂේත්‍රයෙ අවංකව වැඩ කටයුතු කරනව නම් ජනප්‍රියත්වය ඉබේම ලැබෙනව කියලයි මම හිතන්නෙ.

 

ඔබට ඔය කියන සම්මාන දෙකින් එකක්වත් නොලැබුණා නම්...?

නිර්දේශවෙලා සම්මාන නොලැබුණු අවස්ථා නැතුව නෙවෙයි. ඉතිං එහෙමයි කියල මගේ ගමන නැවතුණෙ නෑ. සම්මානයක් ලැබුණෙ නෑ කියල මම කරන වැඩ කටයුතු නවත්තන්නෙත් නැ. ඒ නිසා ඒක මට ප්‍රශ්නයක් වෙන එකක් නෑ. මම තවත් දිරිමත් වේවි.

 

සාරංග - උමාලි පුංචි කැදැල්ල කොහොමද?

බොහොම සතුටින් ගතවෙනවා. ඇය මේ මාර්තු මාසෙ තමයි ලංකාවෙ ස්ථිර පදිංචියට ආවේ. ඒ නිසාම ඇය තවම ලොකුවට නිර්මාණ කටයුතුවලට දායක වුණේ නෑ. නිවාඩු පාඩුවෙ ඉන්නවා. ජීවිතේ බොහොම සුන්දරව ගතවෙනවා. ඉඩක් ලැබුණු හැම වෙලාවෙම කොළඹින් බැහැරට ගිහිල්ල විවේකීව ඉන්න උත්සාහ ගන්නවා.

 

රසඳුන ඇසුරෙන්