Daily News
Trending

සාරංගගේ සැබෑ ජීවිතයේත් වෙස් පෙරළියක් ද?




1- සාරංග මේ දවස්වල හුගක් බිසී නේද?

ඔව්.. වෙස් ටෙලි ඩ‍්‍රාමා එකත් එක්ක ටිකක් බිසී වුණා. කෝටිපතියෝ නාට්‍යයෙත් තවම ෂූටින් යනවා. ඒත් එක්කම මිණිගංදෑල නාට්‍යයටත් මම ඉදිරියේදී සම්බන්ධ වෙනවා. ඒකේ ෂූටිනුත් පටන් ගත්තා. ඒ නිසා මේ දවස් ටිකේ මම පොඩ්ඩක් බිසී තමයි.

2- වෙස් , කෝටිපතියෝ වගේ ජනප‍්‍රිය රැල්ලේ දීර්ඝ ටෙලිනාට්‍යවල චරිත නිරූපණය කරන අතරේ මිණිගංදෑල වගේ වෙනස් රිද්මයක නිර්මාණයකට සම්බන්ධ වුණේ ඇයි?

ඔව්, ඒ ටෙලිනාට්‍ය තුනම තුන් ආකාරයක්. මිණිගංදෑල කියන්නේ වෙනස්ම රිද්මයක නාටයයක්. වෙනස්ම පරිසර තුනක චරිත තුනක් නිරූපණය වෙනවා. ඉතිං එක අතකට මම හිතනවා එකම කාලයේ එහෙම දකින්න ලැබුණ එකත් හොදයි කියලා.

3- ඒත් එකම කාලයේ, දර්ශනතල තුනක වෙනස් චරිත තුනක් නිරූපණය සාර්ථකයිද?

ටෙලිනාට්‍ය තුනම රිද්මයන් තුනක ඉදිරිපත් වෙන්නේ. ඒක ඇත්තටම පහසු නැහැ. නමුත් අපිට එක කාලයක එක නිර්මාණයක් විතරයි කරන්නේ කියලා ප‍්‍රතිපත්තියක ඉන්න බැරි ප‍්‍රායෝගික ගැටලු ටිකක් තියෙනවා. ඒ නිසා සහ මේ දීර්ඝ ටෙලිනාට්‍ය විකාශයවන ගමන් රූගත කිරීම් සිදුවන නිසා එක කාලයක කරන්නේ එක වැඩයි කියන දේ ලංකාවෙදි කරන්න අපහසුයි. ඒ නිසා ප‍්‍රශ්නෙන් මතුකරන අභියෝගය භාරගන්න අපට සිදුවනවා. හැකි උපරිමයෙන් ඒ චරිත තුනටම සාධාරණයක් ඉටු කරන්න මම උත්සාහ ගන්නවා. ඒක කරන්න වෙන්නේ අධ්‍යක්ෂවරුන්ගේ සහයෝගයත් ඇතුව. ඇත්තටම ඒක ලේසි නැහැ. එක වැඩක් විතරක් කරන්න තිබුණා නම් හොඳයි. නමුත් ඒක වෘත්තිය මට්ටමින් මේ කාර්යය කරද්දි කරන්න අපහසුයි.

4- හාරකෝටියේ ලාරා කෝටිපතියෝ දක්වා එනවා. ලාරාගෙන් ගැලවීමක් නෑ වගේ?

ඔව් මටත් හිතෙනවා හාරකෝටියෙන් ඉවර වුණා නම් හොදයි කියලා. හාරකෝටියට ලැබුණ ජන ප‍්‍රසාදයත් එක්ක සමහර විට මේ නාට්‍යයේ නිෂ්පාදක කණ්ඩායම හිතන්න ඇති එතැනින් එහාටත් නාට්‍යය අරගෙන යන්න. තවමත් ප්‍රේක්ෂකයෝ කෝටිපතියෝ එක්ක රැදී ඉන්නවා. නමුත් එක දිගට එකම චරිතය කරන්න වීම නිසා එපා වෙන ගතියක් මටත් තියෙනවා. හාරකෝටියෙන් නාටයය ඉවර වුණා නම් හොඳයි කියන තැන තමයි මමත් පෞද්ගලිකව ඉන්නේ. භාරගත්ත වැඩේ ඉවර කරන එක අපේ යුතුකමක් නිසා මම ලාරට කිසිම අසාධාරණයක් වෙන්න ඉඩ තියන්නේ නැහැ.

5- සමාජ ජාල මාධ්‍යයේ නිර්මාණය වුණ කූඹි ගුල කියන කණ්ඩායම අතරේ ඔබව යම් ආකාරයකට සංසන්දනය වීමක් දකින්න ලැබුණා. එතැනදි විවේචන විදියට තිබුණේ ඔබ ජනප‍්‍රිය රැල්ල අතනොහැරීම?

එක එක්කෙනාගේ පෞද්ගලික මත එක්ක තර්ක කරන්න මට හැකියාවක් සහ වුවමනාවක් නැහැ. අනෙක් කාරණය තමයි මට එහෙම සම්භාව්‍ය හෝ ජනප‍්‍රිය කියලා වර්ගීකරණය වෙන්නත් කිසිම අවශ්‍යතාවක් නැහැ. ඔය කියන විදියේ සම්භාව්‍ය නිර්මාණත් මට ලැබිලා තියෙනවා. ජනප‍්‍රිය සහ හොදම කියන දෙවර්ගයේම සම්මාන සහ නිර්දේශ මට ලැබිලා තියෙනවා. කූඹියෝ නාට්‍යය හරහා ඇතිවුණ කූඹිගුලට වෙනම රසික පිරිසක් එකතු වුණා. එයාලගේ රසඥතාව ගැනත් මට ප‍්‍රශ්නයක් නැහැ. කූඹියෝ කියන්නෙ මමත් ආසාවෙන් රසවින්ද නාටයයක්.

6- සමහරු කූඹියෝ නාට්‍යයේ ජෙහාන් සහ වෙස් නාට්‍යයේ රයන්ව සංසන්දනය කරනවා. ඒ ගැන මොකද හිතන්නේ?

ඒ නිර්මාණ දෙක කිසිසේත්ම එහෙම සංසන්දනය කරන්න බැහැ. ඒ දෙක ගේම් දෙකක්. රයන් ගේම් කාරයෙක් නෙමෙයි. රයන්ගේ චරිතය තුමිදු ඇක්ට් කළා නම් වෙනමම එකක් කරයි. මම ජෙහාන්ට ඇක්ට් කළානම් ඒක් වෙනම එකක් වෙයි. වෙන නළුවෙක් කළා නම් වෙනමම අර්ථකථනයක් දෙයි. ඒ නිසා කූඹියෝ එක්ක වෙස් සංසන්දනය කරගෙන දගලන්න ඕන නැහැ කියන තැනයි මම නම් ඉන්නේ.

7- වෙස් කියන්නේ කොපියක් ලු. දැනගෙන ද වැඩේ භාරගත්තේ?

ඔව්. මොන්ත ක‍්‍රිස්තෝ සිටුවරයාගේ කතාව පාදක කරගෙන තමයි වෙස් නිර්මාණයත් කෙරෙන්නේ. ඒක මොන්තක‍්‍රිස්තෝ පාදක කරගෙන කරන පළවෙනි වැඩෙත් නෙමෙයි. ඉතිං ඒ නිර්මාණ පාදක කරගෙන තමයි වෙස් හැදෙන්නේ. සියයට සියයක් කොපියක් කියන්න බැහැ. මොකද පිටරටක හැදුන එකක් සියයට සියයක්ම මෙහෙට ගලපන්න බැහැනේ. ඒ අනුව මේ නිර්මාණ අපේ කරගෙන අපේ පේ‍්‍රක්ෂකයන්ට රසවිදින්න පුළුවන් විදියට වෙස් නිර්මාණය වනවා.

8- ඕනෑම මනුස්සයෙක්ට වේශ කිහිපයක් තියෙනවා. මේ නිසා ඕනෑම මොහොතක වෙස් පෙරලීමට නියමිතයි කියලා මම කිව්වොත් එකඟ වෙනවාද?

රඟපෑමක් කියලා නොහිතුනත් එක එක්කෙනා ඉදිරියේ අපි විවිධ විවිධ ආකාරයට ජීවත් වෙනවා. ඔව් ඇත්ත. ඕනෑම කෙනෙකුගේ වෙස්, ඕනෑම මොහොතක පෙරලෙන්න පුළුවන්.

9- තමාට තමන්ව අහිමිව යාමේ ඛේදවාචකය සාරංගට දැනෙන හැටි කිවුවොත්.

තමන්ගේ අනන්‍යතාව නැතිවනවා කියන එක තමයි මනුෂ්‍යයකුට අත්විදින්න ලැබෙන භයානකම වේදනාව. වෙස් නාට්‍යයේ දේවින්ද කියන්නෙත් ඒ වගේ කෙනෙක්. ඔහු තමන්ගේ අනන්‍යතාව ගොඩනගා ගැනීමට සහ තමන්ට අසාධාරණය කළ අයගෙන් පළිගැනීමට උත්සාහ ගන්නවා.

10- මේ වෙලාවේ සමාජය ඉස්සරහා ඉන්නේ රියල් සාරංග ද?

මම නම් බොහෝ දුරට එහෙමයි. රංගන ශිල්පීන් විදියට අපිට තියෙන ප‍්‍රශ්නයක් තමයි අපි නිරූපනය කරන චරිත හරහා අපිව කියවීම. නමුත් මං කවුද කියන කාරණය මගේ සමීපතමයින් දන්නවා.

11- සාරංගගේ සැබෑ ජීවිතයේ වෙස් පෙරලීමට නියමිතයිද?

නෑ. සාමාන්‍ය විදියට කලා නිර්මාණ කටයුතුවල නියැලෙනවා. ඒ නිසා කාර්යබහුලයි. හොද නිර්මාණ තෝරා බේරාගෙන වෘත්තීය ජීවිතයේ ඉදිරිය ගැන හිතනවා. එහෙම නැතිව විශේෂ වෙස් පෙරලියක් නම් නැහැ.

Tags
Show More

Related Articles

Close