Daily News
Trending

විනෝද බද්ධ ගෙවලා නැතිව මිහිරට දඬුවම්..?




මිහිර සිරිතිලක කියන්නේ ලංකාවට කලාතුරකින් බිහිවන සම්පතක්. ඒ ඔහු රංඟන ශිල්පියෙක් නිසාම නෙමෙයි. ඔහුට තිබුණා හාස්‍ය පිටපත් රචනයේ ද සුවිශේෂී හැකියාවක්. ඉතින් ලංකාවේ බිහිවුණ ප්‍රහසන රංඟ ශිල්පීන් අතර මිහිර කියන්නේ වෙනම හැඩයක්.

අපි මේ කියන්න හදන සිදුවීම වෙන්නේ කාලයකට ඉහතදී. ඒ කියන්නේ මිහිර ෆීල්ඩ් එකට ආපු අලුත.

ඔන්න ඉස්සරම දවසක් මිහිර ගමේ නාට්‍යයක් සංවිධානය කළාලු. නාට්‍යය වේදිකා ගත කරන්න සතියකට විතර කලින් පුහුණුවීම් කරමින් සිටින අතරවාරයේ එකපාරටම නිලධාරීන් පිරිසක් කඩාපාත් වුණාලු. ඊටපස්සේ ශාලාවට ආපු ඒ මහත්තුරු, කවුද මේක සංවිධානය කරන්නේ කියලා ටිකක් සැරේට වගේ අහනවලු. නිලධාරින්ගේ සද්දෙට ලොකු වැරැද්දක් කළා වගේ හැඟීමක් මිහිරට දැනුනාලු. බැලින්නම් මේ කට්ටිය ඇවිත් තියෙන්නේ විනෝද බද්ධ නොගෙවා නාට්‍යයක් පෙන්වන්න හදනවා කියන චෝදනාව කරන්නලු. ඒ වෙනකල් මිහිර දැන ගෙන ඉඳලා නෑ එහෙම බද්ධක් ගෙවන්න ඕනේ විත්තිය.

දැන් නිලධාරින් කියන්නේ විකුණපු ටිකට්ස් ටික වහාම නැවත එකතු කර ගන්න කියලා. ඒත් ඒක කරන්නේ කොහොමද? අන්‍තිමට මිහිර නාට්‍ය කෙරිල්ල නතර කරලා මේ අවනඩුව විසඳ ගන්න කොළඹ යනවා. එහෙම ගිහින් ඔහු ඇත්තම නෛතික වටපිටාව හොයා ගන්නවා.

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහත්තයා විනෝද බද්දෙන් වේදිකා නාට්‍ය කලාව නිදහස් කරලා තියෙන බව ඒ අනුව ඔහු දැන ගන්නවා. ඒ වෙනුවෙන් අදත් මිහිර ප්‍රේමදාස මහත්තයට පින් දෙනවා. ඉතින් මිහිර ඒ චක්‍රලේඛනයත් අරගෙන නිලධාරින්ව මුණගැහිලා නඩුව විසඳ ගන්නවා. ඊටත් පස්සේ තමයි මිහිර ජාතික තරුණසේවා සභාවේ රංඟ කලා ඩිප්ලෝමාව කරලා කොන්ද කෙලින් තියාගෙන මේ ක්ෂේත්‍රයට පය ගහන්නේ.

Tags
Show More
Close