Daily News
Trending

රටක් කතා කළ පූජාගේ මනුස්සකම.




පූජා උමාශංකර් කියන්නේ සියයට සියයක් ශ්‍රී ලාංකිකයෙක් නෙමෙයි. ඇයට තියෙන්නේ ඉන්දු-ශ්‍රී ලංකා සම්භවයක්. ඒත් අපි ලාංකිකයෝ කියලා උජාරුවෙන් කියා ගත්ත මිනිස්සු ළඟ නැති මනුස්සකමක් පූජා ළඟ තියෙනවා.

ගොඩක් වෙලාවට ආර්ටිස්ලා කියන ජාතිය සාමාන්‍ය මිනිස්සුන්ට මුණගැහෙන්නේ නිර්මාණයකින් විතරයිනේ. ඒත් සැබෑවටම අතිශය ජනප්‍රිය සහ ප්‍රවීණ රංඟන ශිල්පිනියක් වූ පූජා උමාශංකර්ව නම් තිරයෙන් එපිට මහපොළොවෙදීත් මුණගැහෙන්න පුළුවන්.

පූජා ගැන දන්න ඕනම කෙනෙක් දන්න දෙයක් තියෙනවා. ඒ ඇය ඉතාම නිහතමානී කුළුපග මිතුරියක් බව. සාමාන්‍යයෙන් නළු නිළියන් නිතර ගැවසෙන සුපිරි සාදවල වගේම පුංචිම මිනිස්සු ගැවසෙන මඟතොටදීත් පූජාව දකින්න පුළුවන්.

පූජා සතු දුර්ලභ මනුස්සකම ගැන සිය දහස් වතාවක් තහවුරු කෙරෙන ඡායාරූපයක් මේ දිනවල මුහුණුපොතේ සැරිසරනවා. ඒ පින්තූරයේ ඉන්නේ අපේ කතා නායිකාව වන පූජා උමාශංකර්. ඇය ඉතාම උණුසුම්ව වැළඳගෙන ඉන්නේ පාරවල් ශුද්ධ පවිත්‍ර කරන කාන්තාවන් කීහිප දෙනෙක්ව.

සුපිරි නිළියකට මෙහෙම වෙන්න පුළුවන්ද කියලා මේ පින්තූරය දකින ඕනම කෙනෙක්ට හිතෙනවා. කලාකරුවන් කියන්නේ ජනතාව සතුටින් තියන්න වෙහෙසෙන පිරිසක්. නමුත් ඔවුන්ට ඒ සතුට ගේන්න පුළුවන් නිර්මාණයකින් විතරක්ම නෙමෙයි. කලාකරුවෙක්ගේ එක ආදරණීය බැල්මකට වුණත් මිනිහෙකුට සතුට උදා කරලා දෙන්න පුළුවන්.

පූජා තදින් වැළඳගෙන හිටියේ මේ රට සුන්දරව තබන්න දහඩිය මුසුකරන මිනිස්සුන්ව. අප ජීවත්වන රට අපි හිතන තරම්ම අවලස්සන නැහැ. ඒ රටේ පූජා වගේ සුන්දර මිනිසුන් ද ජීවත් වෙනවා. ඇත්තටම මේක කාලෙකට පස්සේ දැකපු ලස්සනම ඡායාරූපයක්. රූපලාවන්‍ය සත්කාරයෙන් රූපය ඉස්මතු වෙනකොට මනුස්සකම ඈතට යනවා. රූපය රකිනවා මිසක මනුස්සකම රැකීමට අවකාශය නැතිව යනවා. ඒක තමයි නළු නිළියන් මේන්ටේන් කරනවා යැයි කියන තරු ගුණය. ඒ තරු අතර පූජා උමාශංකර් සුපිරි තරුවක් වන්නේ ඇයි? මේ අම්මලාගේ මුහුණේ තියෙන සිනහව තමයි ඒ ප්‍රශ්නයට හොඳම පිළිතුර.

Tags
Show More
Close