Daily News
Trending

ගී නොගැයූ ගායිකාව උතුරායන දරු සෙනෙහසින් පුතුට ගැයූ ගීය.




පාලුව තනිකම පාවීලා
වැහිවලා වාගේ
මා හද අඹරට පායාලා
පුන්සඳක් වාගේ
ආදර සෙනෙහස නංවාලා
හිතට සුව සහනේ
මා පුතු තුරුලට ළංවීලා
හිනැහියන් සිතු සේ…

ඒ ආදරණීය අම්මා කෙනෙකුගේ හදවත උණුසුම් කළ දරු සෙනෙහසක අකුරු මිස අන් කිසිවක් නොවේ.

මෙරට බිහිවූ විශිෂ්ඨතම කාන්තා හඬ පෞරුෂයකට උරුමකම් කී ඒ අම්මා අන් කිසිවකුත් නොව තිලකා රණසිංහය. ඇයව මව් පදවියෙහි ලා උණුසුම් කළ පුතු කවුරුන්දැයි දැන් ඔබ හොඳින් හඳුනන්නේය. ඔහු සාරංග දිසාසේකරය. තිලකා රණසිංහට උපන් එකම පුතු ඔහුය. ඒ එක පුතු ඈට පුන් සඳකි.

මේ නිවේදිකාවක විසින් නොව සිව් බඹ විහරණයෙන් පොහොසත් සෙනෙහෙබර අම්මා කෙනෙකු විසින් සිය පුතුට ලියූ වචන අහුරකි.

ඒ හඬ රටක් නැළවූ නිවේදිකාවකගේ නොව නැළවිලි ගී කියා පුතු සැනසූ ආදරණීය අම්මා කෙනෙකුගේය.

තිලකා රණසිංහ, ගේය පදරචිකාවක සහ ගායිකාවක යන භූමිකා දෙක එකවර නියෝජනය කරමින් එලෙස සිය පුතු වෙනුවෙන් ගයන්නීය.

සාරංග දිසාසේකර යනු තුරුලේ හොවා සනසන වයසේ කුඩා දරුවකු නොව දැන උගත් ආකර්ශණීය තරුණයෙකි. නමුත් අම්මාවරුන්ට ඒ කිසිවක් අදාල නැත. ඔවුහු සිය කරදඬු උස්මහත් වූ පුතුන්ව පවා තුරුලේ හොවා නළවති. හුරතල් කරති.

තිලකාටද සියපුතු තවමත් කුඩා දරුවකු සේ හැඟෙයි. ඉතිං ඈ සිය පුතු තුරුලේ හොවා නළවයි.

තිලකා රණසිංහ ගායිකාවක ලෙස ගුවන්විදුලියේ විභාග සමත් කළ කෙනෙකි. නමුත් නිවේදන කලාවෙන් ඉදිරියට ගියා මිස ඈ ගායනයෙහි නොරැඳුනාය. ඒ නිසා ඈ ගැයූ ගී නැතිතරම් ය. ගී නොගැයූ ගායිකාව යන අන්වර්ථ නාමය තිලකා රණසිංහට පටබැඳෙන්නේ ඉනික්බිතිවය.

අවසානයේ ගී නොගැයූ ගායිකාව සිය පුතු වෙනුවෙන් ගැයුවාය. දරු සෙනෙහස වචනවලට පරිවර්තනය කළාය.

ඒ ගී හඬත් ගේය පදත් සෙනෙහෙබර අම්මා කෙනෙකු සඟවාගෙන සිටියි. එබඳු අම්මාවරුන්ටත් දරුවන්ටත් තිලකා රණසිංහ ගැයූ මෙම ගීතය තිළිණයක් වනවාට සැක නැත.

තිලකා රණසිංහ නමැති ආදරණීය අම්මාත් ඒ අම්මාව උතුරා යන දරුසෙනෙහසින් පිරවූ පුත් සාරංගත් මව් – පුතු සෙනෙහස පිළිබඳව කියන සංවේදී කතාව රසවිඳින්නට අපි ඔබට ආරාධනා කරමු. එය ඔබෙත් ඔබේ අම්මාගේත් ආදරණීය හැඟුම් සමුදාය වනවාට නිසැකය.

Tags
Show More

Related Articles

Close