Daily News
Trending

කිසිදා සමු නොගෙන අමරණීය වූ ක්ලැරන්ස්.

Clarence Wijewardena




Clarence Wijewardena Exclusive from Starfiends.lk

ක්ලැරන්ස් විජේවර්ධනයන් අප අතරින් සමුගෙන අදට වසර 32කි. මේ සටහන තැබෙන්නේ ඒ වෙනුවෙනි.1943 අගෝස්තු 3 වන දින බදුල්ල දිස්ත්‍රික්කයේ උපත ලැබූ ක්ලැරන්ස් පස් දෙනකුගෙන් යුතු පවුලක වැඩිමලා විය. 1965 දී සංගීත ක්ෂේත්‍රයට ප්‍රවිශ්ට වූ එතුමන් ශ්‍රී ලංකේය සංගීත ක්ෂේත්‍රයේ කැපී පෙනෙන වෙනසක් සිදු කිරීමට සමත් විය.

ශාස්ත්‍රීය සංගීතය තළ හඳුන්වන “වාගෙයතා” විශේෂ හැකියාව මෙතුමා සතු වේ. එනම් ගීත රචනා කිරීම, තනු නිර්මාණය හා ගීත ගායනා කිරීමේ සුවිශේෂී ත්‍රිත්ත්ව හැකියාවයි. පොප් සංගීත කණ්ඩායම් සඳහා ඉලෙක්ට්‍රොණික ගිටාරය හඳුන්වා දුන්නේ ද ක්ලැරන්ස් විජේවර්ධනයන් ය. එහිදී ඒ සම්බන්ධයෙන් චෝදනා රැසක් එල්ල වූ අතර එතුමන් ඊට පිළිතුරු දුන්නේ ඉලෙක්ට්‍රොනික ගිටාරයෙන් බෙර පද වාදනය කර පෙන්වීමෙනි. ලංකාවේ පළමු කැසට් පටය සේ සැලකෙන මිල්ටන් මල්ලවාරච්චි මහතාගේ Any Time Anywhere කැසට් පටයේ සංගීත් අධ්‍යක්ෂකවරයා වූයේ ද ක්ලැරන්ස් විජේවර්ධනයන් ය.

සිකුරුලියා, චතුමධුර, අපේක්ෂා, හලෝ ශ්‍යාමා , ආදී චිත්‍රපටි සඳහා සංගීත අධ්‍යක්ෂණය කරන්නේ ක්ලැරන්ස් විජේවර්ධනයන් ය. කොළඹ සන්නිය, ජනක සහ මංජු, සිහසුන්, සිවුරඟ සේනා යන චිත්‍රපට සඳහා ගිත ගායනා කරන්නේ ද එතුමන් ය. එසේම, සීමා සහ නිදිකුම්බා මල් නමැති ටෙලිනාට්‍ය දෙක සඳහාද සංගීත අධ්‍යක්ෂණය කරන්නේ මෙතුමාය.

ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්‍රයට අවුරුදු 30ක පමණ කාලයක් අනුපමේය මෙහෙවරක් සිදුකළ මෙතුමා 1996 වර්ෂයේ දෙසැම්බර් 13 වැනිදාවක මෙලොව හැර ගියේය. ගීත ලියා දීමෙන් හා තනු නිර්මාණය කරදීමෙන් නවකයින්ට දිරි දුන් මෙතුමන් අප අතරින් සමුගන්නා විට වයස අවුරුදු 53ක පරිනත සංගීතඥයකුව සිටියේය.

ක්ලැරන්ස් විජේවර්ධනයන් සමුගන්නා තුරුම ඔහු පිළිබඳව ඔහුගේ ජීවිත කාලය තුළදී නිසි අගැයුමක් කෙරුණේ නැත. දේශීය සංගීතය ගැන ලියවෙන ඕනෑම විටෙකදී පණ්ඩිත් අමරදේවයන් තරමටම ක්ලැරන්ස් විජේවර්ධනයන්ද වැදගත් වන බව තිස්ස අබේසේකර ක්ලැරන්ස්ගේ මරණින් පසුව පැවසීය.

සිය පියාගේ අකල් මරණින් පසුව රත්නපුරේ බටුගෙදර පදිංචියට ආ ක්ලැරන්ස් මිතුරු පිරිසක් සමඟ ‘මූන්ස්ටෝන්ස්’ සංගීත කණ්ඩායම පිහිටුවන්නේය. දිල්හානී දුවනී – මංගොනැන්ද – රුවන්පුරය අපේ ගම තමයි… වැනි ගීත සමඟ ‘මූන්ස්ටෝන්ස්’ සමඟ ජනප්‍රිය වන ක්ලැරන්ස් ඉන් පසුව සිය අතිශය ජනප්‍රිය තලයටම ගමන් කරන්නේය. නෙවිල් ප්‍රනාන්දු විසින් හැදූ ‘කණ්ඩායම් සංගීතය’ පෝෂණයකොට පොදු ජනතාව අතරට ගෙනයාමේ පුරෝගාමියා ලෙස ක්ලැරන්ස් විජේවර්ධන ඉතිහාසගත වෙයි. ක්ලැරන්ස් අබේවර්ධනයක් තනි ගායකයකු ලෙස මතු වන්නේ කරුණාරත්න අබේසේකර ශූරීන් ලියූ ‘දිලීප පොඩි පුතු සනීපයට නිදි’ ගීතය ගයමිනි. ඔහු ඉන්පසුව ගැයූ ‘මලට බඹරෙකු සේ’ – ‘රන් සමනලයින්’ – ‘හද විලේ ඔ‍බ පිපුනා’ – ‘පියඹා යනවා’ – ‘රන් දුනුකේ මලසේ’… ආදී ගීත සමුදාය සදා අනුස්මරණීය වෙයි. ‘සුපර් ගෝල්ඩන් චයිම්ස්’ යුගයේ ඔහු හැදූ ‘කඳ සුරිඳුනි’ ගීතය කතරගම දෙවියන් උදෙසා නිර්මාණය කර ගැයූ විශිෂ්ඨම ගීතය ලෙස සැලකේ. ඇනස්ලි මාලේවන, අනිල් භාරතී, ඉන්ද්‍රානි පෙරේරා, වර්නන් පෙරේරා, සමන් ද සිල්වා, මරියසෙල් ගුණතිලක වැනි ගායක ගායිකාවන්ගේ සාර්ථකත්වය පසුපස සිටි සෙවණැල්ල වූයේ ක්ලැරන්ස්ය. . මහළුවියේ ගත මැළවී මාවතේ අපි – උතුමාණෙනි ආදී වෙනස් විවිධ තේමාවලින් ඔහු නිර්මාණය කළ ගීත දෙසද විචාරකයන් සුබදායී ලෙස බැලුවේ නැත. සිය මුල්ම චිත්‍රපටය වූ ‘සිකුරුලියා’ චිත්‍රපටයේ ජේ. ඒ. මිල්ටන් පෙරේරා ලවා ක්ලැරන්ස් ගායනා කරවූ ‘කොමල ලියා බොළඳලියා’ ගීතයේ ක්ලැරන්ස්ගේ සංගීත නිර්මාණය භාරතීය මහා සංගීතවේදී නෞෂාඩ් ඉහළින්ම අගය කළත් ඊට දේශීය අගය කිරීමක් නොලැබිණි.

දේශපාලනයේදී පක්ෂයකට ළැදිව කටයුතු කළත් ක්ලැරන්ස් දේශපාලකයන්ගේ දෙපා ළඟ වැටුණේ නැත. බිරිඳ ශිලා සහ එකම දුව අමිලා සමඟ නුගේගොඩ, තලපත්පිටිය පාරේ නිවසට වී හිතට එකඟව ජීවත්වූ ක්ලැරන්ස්ට බොහෝ මිතුරන් වූයේ මිත්‍රශීලී අයකු වූ නිසාය.

ක්ලැරන්ස් අප අතරින් සමුගෙන අවුරුදු 32ක් ගෙවී ගියද මේ නත්තල් සමයේ ක්ලැරන්ස් විජේවර්ධන නමැති සොඳුරු මිත්‍රයා යළි යළිත් ජීවමාන වන්නේය.

clarence wijewardena

Clarence Wijewardena Exclusive from Starfiends.lk

Tags
Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close